Total Pageviews

Friday, December 30, 2011

මකර රජදහනේ සන් හා අපේ සන්


පාසල් නිවාඩු කාලයේ ජාතික රූපවාහිණියේ දරුවන් වෙනුවෙන් හවස හයයි තිහට විකාශය වන මායා බන්ධන වැඩසටහන යළිත් වතාවක් නරඹබන්නට අවස්ථාව ලදිමි. මේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන මකර රජ දහන නමින් නම් කර තිබේ. මේ වැඩ සටහනනේ කතා තේමාව සමාන්තර ලොක කිහිපයක් අතර විස්තාරණය විය හැකි බෝට්ටුවක් මගින් සමාන්තර ලෝක අතර ගමන් කිරීම හා මේ එක් එක් ලොකයයේ පවතින වෙනස්කම් ගැන කතා කරන්නට අදාලව නිර්මාණය වී තිබේ. සාපේක්ෂව මෙම කතා මාලාව දරුවන්ගේ රසාස්වාදනය උදෙසා නිර්මාණය කරණු ලැබූවකි.

මේ කතා මාලාව අනුව මකර රජ දහන යනු පරීපූර්න රාජ ධානියකි. මේ මුලු රජ දහනම පාලනය කරණු ලබන්නේ සෙන් නැමති දොලොස් හැවිරිදි දරුවෙකි. මොහු මකර අධිරාජ්‍යයා ලෙස මේ රාජධානියේ අණසක පතුරුවා හරිනු ලබන්නේ ඔරකල් නැමති සර්වබලධාරී පර්ගණයක අනුහසිනි. මේ නිසා මුලු මකර රජ දහනේම සිය අනුහස පතුරුවා හරින්නට දොලොස් හැවිරිදි සෙන්ට හැකියාව ලැබේ. මකර අධිරාජ්‍යයාගේ කීකරු සේවකයා වන්නේ මහලු සෙන්සෝය. ඔහු කාලාන්තරයක් පටන් මකර අධිරාජ්‍යයාගේ පවුලට සේවය කරණ කීකරු සේවකයෙකි. කුඩා දරුවෙකුගේ මනසක් සහිත වැඩිහිටියෙකු ලෙස ඔරකල් මත යැපෙන සන් ජීවිතය ලෙස දකින්නේ  මකර අධිරාජ්‍යයතුල ඔරකල්ගේ ආනුභාවයෙන් තමන් කළ නොහැක්කක් නොමැත්තෙකු ලෙසයි.
සන්ගේ ලෝකයට බාහිරින් පැමිණෙන කැති නම් තරුණිය වර්තමාන ධනවාදී සමාජයේ හැදී වැඩෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිට පැමිණෙන අමුත්තියෙකි. ඇය සන්ගේ මේ විකාර හැසිරීම් රටාව සැම විටම අභියෝගයට ලක් කරණු ලබයි. නමුත් මිලේඡ්ච නොදියුණු මායා බන්ධකයින්ගේ ලෝකයේ සිට පැමිණෙන අශ්කා නැමැත්තිය සිය බලය වෙනුවෙන් සන්ගේ මේ ළදරු වළිප්පුව ප්‍රයෝජනයට ගනිමින් මකර රජදහනේ පාලනය සියතට ගන්නට උත්සහා කරයි. මේ අතර සන් විසින් නැතිනම් අතීතයේ සිට විසූ සියලු මකර අධිරාජ්‍යයන් විසින් අමතකර කර දැමූ තමන්ගේම රාජධානියේ දිවිගෙවන සුඵිතර අසාධාරණයට හා පීඩාවට පත්වූ ජන කොටසගේ අයිතිවාසිකම් වෙනුවෙන් ෂාරක් නැමති තරුණයා සර්වබලධාරී මකර අධිරාජ්‍යයා සමග ගෝත්‍රීක ආයුධ වලින් සටන් කිරීමට ඉදිරිපත් වෙයි. නමුත් ඔරකල්ගේ ආනුභාවයෙන් මකර අධිරාජ්‍යයා ෂාරක් නැමති සුථජනතාවගේ නියෝජිතයාගේ බලය සුනුවිසුනු කර දමයි. ෂාරක් සිය ජනතාව වෙනුවෙන් මකර අධිරාජ්‍යයාගෙන් ඉල්ලා සිටින්නේ ආහාර සහ නිවාස ලබා දී තමන්ට ද මනුෂ්‍යයන්ට මෙන් සලකන ලෙසයි.
නමුත් මෙසේ සිය ජනතාවගෙන් කොටසක් ආහාර නොමැතිව බඩ ගින්නේ මිය යද්දී සන් කැතී නම් ආගන්තුක තරුණිය සමග පුඩින් වලින් ගසා ගැනීමේ තරගයක් පවත්වයි. උත්සව පවත්වමින් තමන්ගේ විනෝදය පරීපූර්ණය කර ගන්නට උත්සහා ගනී. තමන් හිටපු මකර අධිරාජ්‍යයාගේ පුතා වන නිසාම පරවෙිනි උරුමයෙන් සන් ද මකර අධිරාජ්‍යයා බවට පත් වෙයි. මේ නිසාම මුලු මකර රජදහනම තමන්ට අභිමත ආකාරයට පාලනය කරන්නට ඔහුට හැකියාව ලබේ. නමුත් ඔහුට නොතේරෙන සත්‍ය වන්නේ තමන් පොඩි දරුවකු බවයි. තමන්ට නොව බලය තිබෙන්නේ සිය පියා විසින් ගොඩ නැගූ ඔරකල් නම් පරිගණකයට බවයි. මේ අතර අවසානයේ සියල් උඩුයටිකූරු බවට පත් වෙයි. ඔරකල් ආශ්කා විසින් විනාශකර ෂාරක් සමග එක්ව මකර අධිරාජ්‍යයේ බලය පැහැර ගනී. මේ නිසා එතෙක් තමන් සර්වබලධාරී යැයි සිතා සිටි සන් නිකම්ම නිකම් අවුරුදු දොළහක පොඩි දරුවෙකු බවට පත්වෙයි. අවසානයේ සන් නිකම් නිකම් විහිලුකාරයෙකු බවට පත් වෙයි.
ලංකාවේ රජ්‍ය පාලනය පුරාතනයේ පැවතියේ රාජාඩුණ්ඩු පාලනයකි. මේ පාලනය තුල රජතුමා සර්වබලධාරී වූ අතර මුලු රාජ්‍යයම ඔහුගේ බලය වටා කේන්ද්‍රගතව පැවතිනි.ජනතාව යනු රජාගේ පාලනය යටතේ දිවිගෙවන යටත් වැසියන් පිරිසක් පමණක් විය. ජනතාවට අයිතිවාසිකම් නොවීය. මරණිය දණ්ඩණය ලබා දීමේ සිට මලේඡ්ච වධ තිස් දෙකක් ලබා දෙන්නට රජතුමාට හැකියාව ලැබුනු අතර රජතුමාට තමන් කැමති ඕනෑම ගැහැනියක් අඹුකමට ගන්නට අසීමිත වරප්‍රසාදයක් විය. රජ පවුලේ සියලු දෙනාටද මේ වරප්‍රසාද ඒ ආකාරයෙන්ම භුක්ති විදින්ට අවස්ථාව හිමිවිය.
පසුගිය දිනවල අලුත් කඩේ උසාවි සංකීර්ණය අභියස කදිම පෝස්ටරයක් දැක ගන්නට ලැබුනි. එහි සදහන්ව තිබුනේ නීතීඥ ධූරයෙන් පිදුම් ලැබූ ගරු නාමල් රාජපක්ෂ මැතිදුන්ට අපගේ ප්‍රණාමය යනුවෙනි. ලංකාවේ හෝ වෙිවා වෙනත් රටක වේවා යමෙකු නීතීඥ වෘත්තියට ප්‍රවිශ්ෂඨ වන්නේ විභාග සමත් වීමෙන් අනතුරුව ජෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ පුහුණුව ලැබීමෙන් අනතුරුවය. ලංකාවේ දී නම් නීතිඥවරයෙකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙන්නට මත්තෙන් යහපත් චරිතය මනා දැනීම හා හැකියාව සම්බන්ධයෙන් සලකා බලනු ලබයි. පසුව අදාල තැනැත්තා නීතිඥ වෘත්තිකයෙකු වශයෙන් බදවා ගනු ලබයි. එවිට ඔහු අධිකරණ නිළධාරියෙකු බවට පත්වෙයි. ඔහුගේ ප්‍රමුඛතම වගකීම වන්නේ යුක්තිය පසිදලීමේ කාර්යයට සහය වීමයි. එහිදී ඔහු ප්‍රමුඛතාවය පිරිනමනු ලැබිය යුත්තේ සිය වෘත්තීය ගෟරවය හා අධිකරණයේ ස්වාධිනතාවය තහවුරු කිරීම කෙරෙහිය. මෙලෙස නීතීඥ වෘත්තියට බදවා ගනු ලබන තැතැත්තෙකු කිසි විටෙකත් නීතීඥ ධූරයෙන් පිදුම් ලැබූ අයෙකු වශයෙන් සැලකිය නොහැකිය. සාමාන්‍යයෙන් මෙලෙස ධූරවලින් පිදුම් ලබන්නේ ආචාර්යවරුන්ය. ඒ සදහා කදිම උදාහරණය වන්නේ ආචාර්ය මර්වින් සිල්වාය. තවත් උදාහරණයක් නම් ආචාර්ය පබිල් සිල්වා, ආචාර්ය සෝමා එදිරි සිංහ, ආචාර්ය දේශමාන්‍ය ලලිත් කොතලාවල, ආචාර්ය මහින්ද රාජපක්ෂ යන අය මෙලෙස පිදුම් ලැබූවන්ය. සාමාන්‍යයෙන් මෙලෙස පිදුම් ලබන්නට කිසිදු අධ්‍යපන සුදුසුකමක් අවශ්‍ය නොවන අතර කිසිම විභාගයක් සමත් වීමද අවශ්‍ය වන්නේ නැත. මේ නිසා සමහර විට මේ පෝස්ටරයේ දක්වා ඇති ආකාරයට නාමල් රාජපක්ෂද මෙලෙස නීතීඥ ධූරයෙන් පිදුම් ලැබුවා යැයි පැවසීම සත්‍යයක් වන්නට පුලුවන.
පසුගිය සමයේ නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයට පැමිණි අවස්ථාවේ විදුහල්පතිවරයා විසින් බුලත් දී පිළිගනු ලැබු බවට හා ඔහු වෙනම පරිගණක පහසුකම් සහිත වායු සමනය කළ කාමරයක විභාගය ලියූ බවටත් බැදීම් නීතිය විෂය සදහා ලකුණු 99 ක් ලබා ගත් බවට මාධ්‍ය වාර්ථා පල විය. තව දුරටත් ඔහු දිවුරුම් දුන් අවස්ථාවේ බොහෝ උදවිය පැමිණි බවටත් විනිශ්චයකාරවරුන්ට හා නීතීඥවරුන්ට අධිකරණ භූමියේ සිය රථ නතර කරන්නට පවා අවස්ථාව හිමි නොවු බවත් අපට දැන ගන්නට ලැබුනි. මෙරට අධිකරණ කේෂත්‍රයේ ප්‍රධානියා වන අගවිනිසුරුවරිය නාමල්ට අතට අත දීම යනු ලංකාවේ අධිකරණ ස්වාධීනතාවයට සෘජුව බල නොපාන්නේ ද යන ප්‍රශ්ණය අපට ඉතිරි කරයි. මේ සතුටට කොළඹ පාරවල් වසා නයිට් රේස් තියන්නටත් අරලියගහ මන්දිරයේ සාද පවත්වන්නටත් නාමල්ට හැකියාව ලැබෙන්නේ කොහොමද?
මේ සියල්ල කළ හැකි වන්නේ මායා බන්ධන හී සන්ට සිටින සර්ව බලධාරී ඔරකල් වැනි මේ ජනාධිපති සන්ට සිය සර්වබලධරිී සිය පියා සිටින නිසාද?
අවසානයේ මේ රටට කුමක් සිදු වෙයිද කුමක් සිදු වුවත් එය මකර රජ දහනට අත් වූ ඉරණමට වෙනස් නොවන බව අපට පැහැදිලිය. ඒ සන්ට කේවට්ටකම් කරන්නට මහලු සෙන්සෝ සිටින පරිදි මේ සන්ට කේවට්ටකම් කරන්නේ මහලු ජී.ඇල් පීරිස්ද? අවසානයේ මනසින් ළදරු වයසින් මුහුකුරා නොගිය සන්ට අත්වූ ඉරණමට වැඩි යමක් මේ සන්ට ලැබේ යැයි සිත්න්නට පුලුවනද? මේ කතාවේ අවසානයේ සන් යළිත් සියල්ල තේරුම් ගෙන ජීවිතය ජය ගෙන යහපත් පාලකයෙකු බවට පත්වෙයි. නමුත් වෙලි චිත්‍රපට වල අවසානය කලින්ම අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කරනු ලබන පරිදි ඇත්ත ජීවිතය අපට කලින්ම ව්‍යුහගත කරන්නට නොහැකිය.

No comments:

Post a Comment